බිම් සොහොන් ගෙවල් තුළ උපත ලද මුල් ක්‍රිස්‌තියානි කලාව
රෝමය කලාව සම්බන්ධයෙන් ඉතා වැදගත් ඉපැරැණි නගරයක් ලෙස ඉතිහාසය තුළ බෙහෙවින් කතා බහට ලක්‌වේ. ඓතිහාසික, දේශපාලනික, සංස්‌කෘතික වැදගත්කමක් ඇති මෙම ඉපැරැණි රෝම නගරය තුළින්ම "මුල් ක්‍රිස්‌තියානි කලාව" පිළිබඳව ද තොරතුරු අනාවරණය වේ. එවකට පැවැති ආගමික සමාජ, ආර්ථික, දේශපාලනික තොරතුරු රැසක්, මෙම කලා සම්ප්‍රදායට අයත් දෘශ්‍ය රූපක හරහා අර්ථ විග්‍රහ කර ගැනීමට හැකිව තිබේ. පැවැති සමාජ දේශපාලනික තත්ත්වයන් හමුවේ මෙම කලා සම්ප්‍රදාය බිහිවී ව්‍යාප්තව ඇත්තේ පැරණි රෝම නගරය තුළ ඉතා රහසිගත ආකාරයෙන් වීම එහි ඇති සුවිශේෂත්වයයි.
එවකට රෝම අධිරාජ්‍යයේ පෙරදිග කලාපයේ ක්‍රිස්‌තියානි ආගම සීග්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊජිප්තු, ඇසිරියානු ආදී බහුදේවවාදී ආගම්ද ඒ වන විට ඒකදේවවාදී ආගම් බවට පත්වූහ. නමුත් රෝමවරු ක්‍රිස්‌තියානි ආගම පිළිබඳව දරුණු අදහස් දැරූහ. එයට හේතු වූයේ යුදෙව්වන් විසින් ෙ-සුස් වහන්සේගේ දේශනා නිර්වචනය කළ ආකාරයයි. රෝම පාලකයන් විසින් ක්‍රිස්‌තියානි ආගම හා එම බැතිමතුන් ගැන පරීක්‍ෂා කොට වාර්තා කිරීමට පත් කළ අයගේ වාර්තා වලින්ද ක්‍රිස්‌තු ආගමිකයන් ගැන රෝම පාලනයේ ආකල්ප පැහැදිලි වේ. "ටැක්‌නියාස්" නම් වාර්තාකරුවාගේ වාර්තාවේ සඳහන් වූයේ "ක්‍රිස්‌තියානි භක්‌තිකයන් වනාහි පිරිහුන්, අශ්ලීල, හිතුවක්‌කාර, ඇදහිලි ක්‍රමයකට පුරුදු වූ නිසාවෙන්, ඔවුන් රෝම පාලනයේ ද්වේශයට ලක්‌වූ බවයි. "ට්‍රොaජන් අධිරාජ්‍යයා විසින් මේ පිළිබඳ පරීක්‍ෂා කිරීමට පත් කළ "ප්ලිනි" ගේ වාර්තාවෙහි සඳහන් වූයේ ක්‍රිස්‌තියානි ආගම වනාහි අධික ශ්‍රද්ධාවෙන් යුත් කිසිදු වැදගම්මකට නැති ආගමක් බවයි. ක්‍රිස්‌තු භක්‌තිකයන් රෝමවරු කෙරෙහි දැක්‌වූ ආකල්පයද එවැනිම එකකි. ඔවුන්ට අනුව සීසර්ගේ පාලනය වනාහි "රුධිර පිපාසිතවූද, නොනිමි යුද්ධ වලින් පිරුණාවූද, දුෂ්ට, කුරිරු මෙන්ම අධික තණ්‌හාකාරයන් කරපින්නාගත් මිනිසුන් විසින්ම මවාගත්, පඹයන් වැනි දෙවියන් ඇති යක්‍ෂයාගේ පාලනයක් යනුවෙනි. මෙකල රෝම අධිරාජ්‍යය විසින් ක්‍රිස්‌තියානි ආගම ඇදහීම සපුරා තහනම් කළහ. මෙම ආගම් භක්‌තිකයන් දරුණු වද බන්ධනයට ලක්‌කොට ඝාතනය කිරීමටද නියම කර තිබිණි. එනිසාම බොහෝ විචාරකයන් මෙම යුගය හඳුන්වනු ලබන්නේ "ආගමික වද බන්ධන යුගය" නමිනි. එම තත්ත්වය ක්‍රි.ව. 325 පමණ වන තෙක් පැවැති බව පෙනේ. රෝම නීතිය අනුව ක්‍රිස්‌තු භක්‌තිකයන්ට එම ආගම ඇදහීම වතාවත් වල යෙදීම, රැස්‌වීම් පැවැත්වීම, මළවුන්ගේ ආගමික වතාවත් කිරීම පමණක් නොව පෞද්ගලික දේපළ තබා ගැනීමටද ඉඩනොලැබිණි.
කුමන වද බන්ධන වලට ලක් වුවද ක්‍රිස්‌තු භක්‌තිකයන් රෝමයේ සෑම ප්‍රධාන නගරයකම වාසය කළ බවට තොරතුරු අනාවරණය වේ. ආගමික වතාවත් වල යෙදීම තම ආගම අදහන්නවුන් සඳහා රැස්‌වීම් පැවැත්වීම, මළවුන්ගේ ආගමික වතාවත් සිදු කිරීම ආදී සියලු කටයුතු සඳහා ඔවුන් තෝරාගනු ලැබුයේ පොළොවෙන් යට කොටසයි. ඒ සඳහා ඔවුන් බිම් සොහොන් සංකීර්ණ (CATACOMB) ඉදිකරන ලදී. රෝම රාජ්‍යයේ ප්‍රධාන නගර වලින් සැතපුම් 3 ක් 4 ක් ඈතින් පිහිටි ගොහොරු තණ බිම් වැනි තැන් තෝරාගෙන එම ස්‌ථාන වලින් ඉතා රහසිගතව ඇතුළු විය හැකි පරිදි උමං දේවස්‌ථාන සංකීර්ණ ඉදිකර තිබූ බවට තොරතුරු අනාවරණය වේ. මෙසේ ඉදිකරන ලද පූජා සොහොන් ගෙවල් ප්‍රමාණයද අති විශාල විය. ඉතා සංකීර්ණ වූ මින් සමහරක් කුඩා නගරයක් බඳු විය. පටු වූ ඉතා උස් බිම් උමං විශාල සංඛ්‍යාවක් තවත් එවැනිම උමං වලින් සම්බන්ධව තිබූ අතර ඒවා ඔස්‌සේ ගොස් දේවස්‌ථාන, රැස්‌වීම්ශාලා ආදියට ප්‍රවිශ්ට වීමට යොදා තිබිණි.
තම ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ශ්‍රද්ධාවන්තයන් වැනි අය සඳහා ප්‍රමාණයෙන් විශාල වූ ආරුක්‌කුවක හැඩය ඇති (ARCOSOLIUM) නමින් හැඳින්වූ සොහොන් කුහර නිර්මාණය කර තිබිණි. ඔවුන්ගේ සාකච්ඡා පැවැත්වීම සඳහා ඉතා කුඩා වූ ඩෝමාකාර හා ඩෙල්ටාකාර පියසි වලින් යුත් ප්‍රජා ශාලාවන් කිහිපයක්‌ද මෙවැනි සංකීර්ණයක ඉදිකොට තිබිණි. ආගමික වතාවත් සිදුකිරීමට ඉදිකළ කුඩා දේවස්‌ථානය (CUBICLA) නමින් හැඳින්වේ. මෙම සොහොන් සංකීර්ණවල මෘත දේහ තැන්පත් කරනු ලැබුයේ (LOCULI) නමින් හැඳින්වූ බිත්තියෙහි ඇතුළට හෑරූ කුහරයක් තුළය. මළවුන්ගේ මෘතදේහ (LOCULI) කුහර තුළ තැන්පත් කිරීමේ හේතුව ලෙසට අනාවරණය වන්නේ (මෘතදේහ තුළින් ආත්මය නැවත නැඟිටීම) හෙවත් "උත්තානය" පිළිබඳ මොවුන් තුළ තිබූ දැඩි විශ්වාසයයි.
ක්‍රිස්‌තියානි ආගම හා සම්බන්ධව බිහි වූ මුල් ක්‍රිස්‌තියානි කලාව, මෙම (CATACOMB) ආශ්‍රය කොට ගෙන බිහිවී ඇති බව පෙනේ. මෙහිදී දැකිය හැකි සුවිශේෂී අංග ලෙස ගෘහ නිර්මාණාත්මක අංශ හා ඒහා බැඳුණු චිත්‍ර කලාව හඳුන්වා දිය හැකිය. මූර්ති නිර්මාණ ලෙසින් ගැනිය හැකි කෘති හමුව ඇත්තේ අල්ප ප්‍රමාණයකි. මෙහිදී වැඩි අවධානයක් යොමුq කරවිය හැකි වන්නේ, මේවා තුළ බිහි වූ චිත්‍ර කලාව කෙරෙහිය. මෙම චිත්‍ර ශිල්පීය වශයෙන් ගත් කළ එකල රෝමයේ පැවැති චිත්‍ර කලා සම්ප්‍රදායට හා ශෛලියට මූලික වශයෙන් සමාන කමක් දක්‌වයි. එහෙත් අතිශය දුෂ්කර, අඩු පහසුකම් සහිතව හිරු එළිය, පිරිසිදු වාතාශ්‍රය පවා නොමැතිව ජීවිත පිළිබඳ වූ අවිනිශ්චිතතාවයෙන් යුක්‌තව සිදුකළ මෙම නිර්මාණයන් තුළින් දිස්‌වන්නේ අසම්පූර්ණ වූ සම්භාව්‍ය ස්‌වරූපයකි. මෙම චිත්‍ර කෘතීන්ගේ ශිල්පීය අංගයන්, රෝම චිත්‍ර කලාවට බෙහෙවින් සමාන වුවද ප්‍රස්‌තුතයන්ගේ දැඩි වෙනසක් දක්‌නට ලැබේ. එයට හේතුව වන්නේ රෝම සිතුවම් ශිල්පියාගේ අරමුණු වලට වඩා මෙම ශිල්පියාගේ අරමුණු වෙනස් වීමයි. තම අනුග්‍රාහකයන්ගේ හා සුධාරකයන්ගේ කැමැත්ත හා දිරිමත් කිරීම මත විවේකී පරිසරයේ හුදු සෞන්දර්යාත්මක ශිල්පීය අභිප්‍රායන් දිග හැරීමේ ක්‍රියාවලියක් රෝම සිතුවම් තුළදී දැකගත හැකිය.
නමුත් මුල් ක්‍රිස්‌තියානි කලාව තුළ ශිල්පියාගේ අභිප්‍රාය වූයේ ශ්‍රද්ධාව හා භක්‌තිය තමා තුළින් ප්‍රකාශනය වනවා මෙන්ම එතුළින් අන් බැතිමතුන්ගේ සිත් තුළ ආගම පිළිබඳ ශ්‍රද්ධාව භක්‌තිය ඇති කිරීමයි. සැබවින්ම එය ආගම පිළිබඳව ශිල්පියා විසින් තැබූ සත්‍යයේ සටහන වැනිය. ආගමික ප්‍රචාරය හා ආගමික ධර්මතාවන්ගේ යම් යම් ස්‌වරූපයන් සන්නිවේදනය කිරීම, අරමුණු කොටගෙන ඇත. එනිසාම මෙම චිත්‍ර නිර්මාණ තුළ සංකල්පනාත්මක වෙනසක් දැකිය හැකිය.
චිත්‍ර තුළ සංරචනය සංකේතාත්මකය, ජ්‍යාමිතික රටාවක් අනුව චිත්‍ර තලය බෙදා ගැනීමක් බොහෝ විට දක්‌නට ලැබේ. ඒ සඳහා කුරුසියේ සලකුණ සැරසිලි ආකාරයෙන් ගලපාගෙන තිබේ. බොහෝ විට කුරුසිය මධ්‍යයේ ෙ-සුස්‌වහන්සේ නිරූපණය කර ඇත්තේ යහපත් එඩේරාගේ ස්‌වරූපයෙනි. තමන්ගේ ගැලවුම්කාරයා පිළිබඳ වූ භක්‌තිය හා විශ්වාසය මින් හෙළිදරව් වේ. ෙ-සුස්‌වහන්සේ බොහෝ විට බැටළු පැටවුන් වඩාගෙන හෝ බැටළුවන් පිරිවරාගෙන නිරූපණය කර තිබේ. දණ හිසෙන් ඉහළ රළු ඇඳුමකින් යුක්‌තව, කෙවිටක් අතැතිව ඉතා සරල පුද්ගල රුවක් ලෙසින් නිරූපණය කර තිබේ. ෙ-සුස්‌වහන්සේ දුප්පතුන්ගේ ගැලවුම්කාරයකු ලෙස දක්‌වන්නට උත්සාහ දරා තිබේ. යාඥවේ යෙදී සිටින සාන්තුවරයන්ද, ෙ-සුස් වහන්සේගේ අනුගාමිකයන්ද මෙම චිත්‍ර තුළ වේ. ජ්‍යාමිතික ආකෘතීන් පාදක කොට ගනිමින් අඳින ලද සිතුවම් "පියරොස්‌මා සෙල්ලිනෝ" ශාන්තුවරයා සඳහා කරන ලද බිම් සොහොන් ගෙහි ඇති ඩෝමාකාර පියස්‌ස තුළ ඇති සිතුවම් අතර වේ. "ප්‍රිසිල්ලා" (PRISCILLA CATACOMB) හා "කැලික්‌ස්‌ටස්" (CALIXTUS CATACOMB) ආදී බිම් සොහොන් ගෙවල ඇති ඩෝමාකාර පියසිවලද මෙවැනි ඉතා රළු වූ චිත්‍ර ඇඳ ඇත. ඒවා බොහොමයක්‌මද ජ්‍යාමිතික ආකෘතීන්ගෙන් යුක්‌තය.
රහසිගත ආගමක් ඇදහුවද රෝම සමාජයේම ජීවත් වූ රෝම චර්යා ක්‍රම හා කලා ශිල්ප පිළිබඳ අවබෝධයෙන් හා දැනුවත් භාවයෙන් පරිපූර්ණ වූ ශිල්පීන් විසින් කරන්නට ඇතැයි මෙම සිතුවම් ආශ්‍රයෙන් නිගමනය කළ හැක. චිත්‍ර වල ශිල්පීය කුසලතාව පිළිබඳ විමසීමේදී සමස්‌තයක් ලෙස සෑම සිතුවමකම පාහේ ශිල්පියා ක්‍රියා කර ඇත්තේ ඉතා ආවේග ස්‌වරූපයෙනි. එයට හේතු ලෙස නිර්මාණ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ආලෝකය නොමැතිකමත්, අපිරිසිදු වාතාශ්‍රය ඇතුළත පිරී තිබීමත්, ආරක්‍ෂාව ගැන තිබූ අවදානම වැනි කරුණු ශිල්පියා කෙරෙහි දැඩිව බලපාන්නට ඇතැයි සිතිය හැකිය.
ඔහුගේ රේඛාව ඉතා සරල විය. ඔහු අත රැඳි පින්සල් පහරින් මුදා හලේ ඔවුන්ගේ ආවේගයයි. ආගම පිළිබඳ ඔවුන් තුළ වූ භක්‌තිය හා ලැදිකම නොබිඳා අඛණ්‌ඩව පවත්වාගන යැමේ අප්‍රතිහත ධෛර්යයයි. මෙම සිතුවම් කුමන ආකාරයෙන් කළ ඒවා වුවත් සැබවින්ම, නූතන සිතුවම් කලා ශෛලීන් හා සමතැන්හි තැබිය හැකි ශෛලීය සුවිශේෂතා වලින් යුක්‌තය. ඇඳීමෙහි තිබූ නිසඟ හැකියාව තුළින් ආගම පිළිබඳ වූ මනෝභාවයනුත් ඔවුන් දත් පරිදි ෙ-සුස්‌වහන්සේගේ හා ඒ අවට පරිසරයේ අනෙකත් ජීවි අජීවී වස්‌තූන්ගේ ස්‌වරූපයත් දෘශ්‍ය රූපක බවට පත්කර ඇත්තේ ඉතා අව්‍යජ වූ නිර්මාණ සමූහයක් ලොවට දායාද කර දෙමිනි.
No comments:
Post a Comment